ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දෙන ලදී. 2025 අයවැය ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව සකස් කළ මෙම ප්‍රධාන ජාතික වැඩසටහන මඟින්, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්ම අනුව 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිතය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. රජයේ ආයතන, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ඇතුළු 300කට අධික පිරිසකගේ දායකත්වයෙන් සහ පුළුල් උපදේශන ක්‍රියාවලියකින් පසු සකස් කෙරුණු මෙම සැලැස්ම සඳහා 2026 මැයි 4වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.
මෙම උපායමාර්ගික සැලැස්ම ‘තිරස් අංශ’ සහ ‘ප්‍රමුඛතා අංශ’ යන ප්‍රධාන කුලුනු දෙකක් මත පදනම් වන අතර, එහිදී අපනයන විවිධාංගීකරණය සඳහා මෝටර් රථ උපාංග, ඛනිජ පදනම් කර ගත් කර්මාන්ත, රබර් ආශ්‍රිත කර්මාන්ත, සමුද්‍රීය කර්මාන්ත (බෝට්ටු සහ නැව් තැනීම ඇතුළුව), කුළුබඩු සහ සාන්ද්‍රණ, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා, විදුලි හා විද්‍යුත් උපාංග මෙන්ම සැකසූ ආහාරපාන වර්ග යන ප්‍රමුඛ අපනයන අංශ 8ක් හඳුනාගෙන ඇත.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















