විදේශීය වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් යොදවන පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් වෙත ශ්රී ලංකා නාවික හමුදාව පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
ඊයේ (20) පැවති මෙම නිරීක්ෂණ චාරිකාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා ද එක්ව සිටියේය. එහිදී ගාල්ල පෙට්ටිගලවත්ත ප්රදේශයේ පිහිටි අවි හා උපාංග ගබඩා සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කර ඇත.
විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින් වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් ශ්රී ලංකා නාවික හමුදාව ස්වාධීනව ආරම්භ කර ඇත්තේ 2025 ඔක්තෝබර් 3 වැනිදාය.
එතැන් සිට වසරක කාලය තුළ සිදුකළ මෙහෙයුම් මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.32කට අධික විදේශ විනිමය ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට නාවික හමුදාව සමත්ව ඇති බව සඳහන් වේ.
මේ වන විට දේශීය නියෝජිතයන් 10 දෙනෙකු හරහා විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් 28ක් සඳහා අවශ්ය පහසුකම් හා සේවා සැපයීමට නාවික හමුදාව කටයුතු කරයි.
මෙම මෙහෙයුම්වල ප්රගතිය සහ නාවික හමුදාවේ දායකත්වය ඇගයීමට ලක්කළ නියෝජ්ය අමාත්යවරයා, ඉදිරියේදීත් එම කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව සිදුකරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
















