පාරිභෝගිකයන්ට භාණ්ඩයක් පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින්, වත්මන් ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන පරිදි නව ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝග 2026 වසරේදී හඳුන්වාදීමට කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිහාල් ප්‍රේමරත්න මහතා පැවසීය. ජූනි 7 වැනිදාට යෙදුණු ලෝක ආහාර ආරක්ෂිත දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම නව නියෝගයන්ට අනුව පාරිභෝගිකයන්ට පහසුවෙන් කියවිය හැකි වන පරිදි ලේබල්වල අකුරුවල ප්‍රමාණය අවම වශයෙන් මිලිමීටර් 1.5ක් හෝ ඊට වැඩි විය යුතු අතර ආහාරයේ අඩංගු සියලුම පෝෂණ සංඝටක ඇතුළත් පෝෂණ වගුවක් ප්‍රදර්ශනය කිරීම ද අනිවාර්ය වේ. එමෙන්ම ලේබලයේ ඇති අත්‍යවශ්‍ය තොරතුරු ලංකාවේ භාවිත වන භාෂා තුනෙන් අවම වශයෙන් භාෂා දෙකකින් හෝ සඳහන් විය යුතු බවට ද නියම කර ඇත.
මීට අමතරව, ඇතැම් සුපිරි වෙළෙඳසල්වල මස්, මාළු වැනි ආහාර ද්‍රව්‍ය නිසි සීතල උෂ්ණත්වයක නොතැබීම නිසා නරක්වීමේ අවදානමක් පවතින බවත්, ඒවා අඩු මිලට අලෙවි කිරීමට උත්සාහ කරන ආයතන නියාමනය කිරීමට සේවකයන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බවත් සහකාර අධ්‍යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















