මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී නව හෙද හෙදියන් 2,847 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැති කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් සඳහා හිස්වැසුම් පැලඳවීම සහ සේවයට කැපවීම සංකේතවත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.2028 මාර්තු මාසයේදී 1,949 දෙනෙකුට සහ එම වසරේම අගෝස්තු මාසයේදී 2,920 දෙනෙකුට හෙද පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇත. 2030 වසර වන විට හෙද සේවාව සඳහා 13,600 දෙනෙකු බඳවා ගැනීමේ ඉලක්කයක් පවතින අතර, එම ඉලක්කයෙන් 50%ක් මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ. හෙද සේවාවට ඇතුළත් වන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇත. එසේම, අවම පහසුකම් යටතේ පවතින හෙද විදුහල් සංවර්ධනය කිරීමට සහ හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මේ වන විට සැලසුම් කරමින් සිටී.
නිදහස් සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමේදී හෙද සේවාව අතිශය තීරණාත්මක සහ ගෞරවනීය වෘත්තියක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන්, සිසු හෙද හෙදියන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, මෙහිදී පළමු වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් සඳහා සම්මාන ප්‍රදානය ද සිදු කෙරිණි.
















