ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පැනවූ කටුපොල් වගා තහනමට එරෙහිව වැවිලි සමාගම් විසින් අධිකරණ හමුවේ පවරා ඇති නඩු සහ ආර්ථිකමය අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් එම තහනම ලිහිල් කර නියාමනය කළ වගාවක් ලෙස පවත්වාගෙන යාමට ඉඩදීමට රජයේ අවධානය යොමු වී තිබේ.
මෙරට පාම් ඔයිල් සහ එළවළු තෙල් ආනයනය සඳහා වසරකට වැයවන අධික විදේශ විනිමය ප්‍රමාණය අවම කරගැනීම, අධිකරණමය නඩු කටයුතුවලදී වන්දි ගෙවීමේ අවදානමින් මිදීම සහ හෙක්ටයාර 20,000ක සීමාවකට යටත්ව පරිසර පද්ධතියට හානි නොවන සේ නව තාක්ෂණික නියාමනයන් යටතේ වගාව කළමනාකරණය කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණු බව පැවසෙයි. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් සහ තාක්ෂණික කමිටු වාර්තා මත පදනම්ව කටයුතු කරමින් සිටී.














