මැතිවරණ සම්බන්ධ නීති සමාලෝචනයට අදාළව මහජනතාව, විවිධ ආයතන සහ සංවිධාන විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට භාර දී තිබේ.
මහජන අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව විසින් එම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දී ඇත.
මැතිවරණ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා 31ක් සහ මීට පෙර පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවල වාර්තා ද සලකා බැලීම සඳහා මෙම විද්වත් කමිටුව පත් කර තිබේ.
කමිටුවේ සාමාජිකයන් ලෙස වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්රී රත්නායක, කැලණිය විශ්වවිද්යාලයේ සමාජ විද්යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ මහජනතාව, ආයතන, සංවිධාන සහ ලියාපදිංචි දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුවද පුරවැසියන්ට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබේ. එමෙන්ම, ලියාපදිංචි දේශපාලන පක්ෂවලට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර ඇත.
මෙහිදී සමාලෝචනයට ලක්වන්නේ පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර අනෙකුත් මැතිවරණ නීති බව සඳහන් වේ.


















