ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ ධාරිතා වර්ධන වැඩසටහනකට මේ වනවිට සහභාගී වෙති.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීමකට අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට ශ්රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 50 දෙනෙකුට කණ්ඩායම් දෙකක් යටතේ සහභාගී වීමට අවස්ථාව හිමිව තිබේ. ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ ප්රජාතන්ත්රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් මෙය ක්රියාත්මක කරයි. පාර්ලිමේන්තු පරිපාලනය, කාරක සභා කාර්යභාරය, වරප්රසාද, අයවැය සකස් කිරීම මෙන්ම Sansad TV හි ක්රියාකාරිත්වය පිළිබඳවද මෙහිදී අවබෝධය ලබාදෙන අතර, දෙරට පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට ද මෙහිදී සාකච්ඡා වී තිබේ.














