අවිහිංසාව සහ ලෝක සාමය පෙරදැරි කරගනිමින්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් සංවිධාන කර ඇති විශේෂ ‘සාම පා ගමන’ හෙට (අප්‍රේල් 21) රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආරම්භ වීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. පූජ්‍ය පංඥාකාර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන මෙම ආධ්‍යාත්මික වැඩසටහන සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රෝපිත අංකුරයක් ද වැඩම කරවීමට නියමිතය. හෙට පස්වරු 3.00ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මෙම අංකුරය භික්ෂූන් වහන්සේලා වෙත භාරදීමෙන් අනතුරුව, පස්වරු 4.00ට රුවන්වැලි මහා සෑ රඳුන් අසල පැවැත්වෙන ආගමික වැඩසටහනකින් පසු පා ගමන නිල වශයෙන් ආරම්භ වේ.
මෙම පා ගමන අප්‍රේල් 22 වනදා මාතලේ අලුවිහාරයෙන් ගමන් ආරම්භ කර අප්‍රේල් 23 වනදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ළඟා වීමට සැලසුම් කර ඇති අතර එහිදී මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගැනීම සිදු කෙරේ. අනතුරුව අප්‍රේල් 24 සිට 27 දක්වා කාලය තුළ මාවනැල්ල, තොලංගමුව සහ යක්කල හරහා කැලණිය රජමහා විහාරය දක්වා පා ගමන ගමන් කරනු ඇත. වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් ලෙස අප්‍රේල් 28 වනදා පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන අතර එදින රාත්‍රියේ පා ගමන ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.
මෙම වැඩසටහන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගය හිමිව තිබේ. බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ මෙම පා ගමන හරහා ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය මෙන්ම සාම්ප්‍රදායික කලා නිර්මාණ ලෝකය හමුවේ ප්‍රචාරය වනු ඇති බවයි. ලෝක සාමය වෙනුවෙන් මෙම පා ගමන මෙහෙයවන පංඥාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා මැයි මස 01 වනදා යළි ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.














