2027 ලෝක ජල දිනය සැමරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ ජාතික වැඩසටහනක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාල පරිශ්රයේදී පසුගියදා පැවැත්විණි.
ජල ක්ෂේත්රයට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් අරමුණු 14ක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වන්නේ ජල ක්ෂේත්රයේ පවතින ගැටලු සහ අනාගත අභියෝග සඳහා සාමූහික විසඳුම් සෙවීමයි.
ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය ප්රවර්ධනය කිරීම, ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ජල සංරක්ෂණය පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂාවේ වැදගත්කම අවධාරණය කිරීම ද මෙම වැඩසටහනේ අරමුණු අතර වේ. ගංගා, වැව්, තෙත්බිම් සහ භූගත ජල සම්පත් ආරක්ෂා කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරේ.
ප්රධාන සැමරුම් උත්සවය 2027 මාර්තු 23 වැනිදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ඊට සමගාමීව ලෝක ජල දින සැමරුම් සතියක් සහ ජාතික ප්රදර්ශනයක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.
ජලයේ ගුණාත්මකභාවය, සෞඛ්ය හා ආරක්ෂාව, ජල කළමනාකරණය හා තාක්ෂණය, නවෝත්පාදන, අපජල කළමනාකරණය, ජලය නැවත භාවිතය, උරුමය සහ ආහාර සුරක්ෂිතතාව ඇතුළු ක්ෂේත්ර රැසක් මෙහිදී ආවරණය කිරීමට නියමිතය.
මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ජාතික මට්ටමේ කමිටු සහ අනුකමිටු ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති අතර, අදාළ ආයතන විසින් සැමරුම් සතිය තුළ තම විෂය පථයට අදාළ වැඩසටහන් ක්රියාත්මක කිරීමට නියමිතය.
















