සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් ශ්‍රී ලංකාව තුළ මගී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම සඳහා චීනයේ ඊ-හැංග් (E-Hang) සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී ඊයේ (18) පැවැත්විණි. වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඊ-හැංග් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි කෝනර් යැං මහතා ඇතුළු නියෝජිතයන් මෙන්ම අදාළ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු ද එක්ව සිටියහ.
හදිසි ආපදා සේවා, සමුද්‍රීය අවශ්‍යතා සහ සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම විදුලි මගී ඩ්‍රෝන යානා (eVTOL) කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් සහ ස්වයංක්‍රීය පාලන පද්ධතිවලින් සමන්විත වන අතර, මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකිය. කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීම සඳහා එක් මගියෙකුට ඇමරිකානු ඩොලර් 20ත් 30ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෙය වාණිජ වශයෙන් ආරම්භ කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව සහ සයිබර් ආරක්ෂාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු අදාළ සියලුම රාජ්‍ය ආයතනවලින් විධිමත් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














