විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්වීම අවදානමකට නොව, ආරක්ෂිත සහ යහපත් අවස්ථාවකට මඟ පෙන්වන ක්‍රියාවලියක් විය යුතු බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
විදේශ ශ්‍රමිකයන් සඳහා රැකියාවකට පිටත්වීමට පෙර සූදානම් වීමේ අවස්ථාවේ සිට බඳවා ගැනීම, රැකියාවේ නිරතවීම, සමාජ ආරක්ෂණය, නැවත මව් රටට පැමිණීම සහ යළි සමාජගතවීම දක්වා සමස්ත ක්‍රියාවලියේදීම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
ලියාපදිංචි සුදුසුකම්ලත් විදේශ ශ්‍රමිකයන් සඳහා මරණ වන්දි මුදල රුපියල් මිලියන 2ක් දක්වා ඉහළ නැංවීම, දායකත්ව මත පදනම් වූ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සහ නව විදේශ රැකියා පනතක් සකස් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිය ඡන්ද අයිතිය භාවිත කිරීමට හැකිවන පරිදි යාන්ත්‍රණයක් සකස් කිරීම සහ “LankaKonect” සේවාව හරහා විදේශ ශ්‍රමිකයන්ට පැමිණිලි ඉදිරිපත් කර ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පහසුකම් සැලසීම පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.
















