ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Oxford) ශාන්ත ඇන්තනිස් විද්‍යාලයේදී පවත්වනු ලබන වාර්ෂික විශේෂ දේශනය (OSGA Annual Lecture) ඊයේ (20) සාර්ථකව පවත්වා තිබේ. “සංවර්ධනයේ දේශපාලනය: ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන තේමාව යටතේ පැවැති මෙම දේශනය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශාල ආචාර්යවරුන්, පර්යේෂකයන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් උනන්දුවෙන් සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ රටක සංවර්ධනය යනු හුදෙක් සංඛ්‍යාලේඛන හෝ ප්‍රතිපත්තිමය ලේඛන පමණක් නොවන බවත්, එය ආර්ථික අර්බුදවලින් බැටකා නැගී සිටින සාමාන්‍ය ජනතාවගේ සැබෑ ජීවන අත්දැකීම් සමඟ බද්ධ විය යුතු බවත්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය, බිම් මට්ටමේ නායකත්වය සහ සමාජයේ කාන්තාවන් ඉටුකරන නමුත් ආර්ථික ක්‍රමවේදයන් තුළ නොපෙනෙන සේවාවන් (Paid and Unpaid Care Work) පිළිබඳව ඇය දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළාය. තිරසාර සංවර්ධනයක් සඳහා ආර්ථික ප්‍රගතිය මෙන්ම ජනතාවගේ ගෞරවය, සාධාරණත්වය සහ සමාජ සුභසාධනය සමබරව පැවතිය යුතු බව පෙන්වා දුන් ඇය, තමන් සමාජ මානව විද්‍යාඥවරියක, ක්‍රියාකාරිනියක සහ දේශපාලන නායකවරියක ලෙස ලැබූ අත්දැකීම් ද මෙහිදී විදේශීය විද්වතුන් සමඟ බෙදාගත්තාය. දේශනය අවසානයේ පැවැති ප්‍රශ්නෝත්තර වාරයේදී ලංකාවේ ආර්ථික පුනරුදය සහ ආයතනික ස්වාධීනත්වය පිළිබඳව නැඟුණු ප්‍රශ්නවලට ද ඇය සාර්ථකව පිළිතුරු ලබා දුන්නාය.














