භූතානයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතානයේ ජිග්මේ කෙසාර් නම්ගියෙල් වංචුක් රජු (Jigme Khesar Namgyel Wangchuck) අතර හමුවක් ෂිච්ඡෝඩ්සොංහිදී (Tashichho Dzong) පවත්වා තිබේ.
දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සහ ඉදිරි සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. භූතානයේ සංවර්ධන සැලසුම් සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද ලබාගැනීමට ඇති කැමැත්ත භූතාන රජු විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ. එසේම දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ භූතානය තුළ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය යොමු විය. විශේෂයෙන්ම තරුණ පරපුර විදේශගතවීම නිසා භූතානය මුහුණ දෙන ජනගහන සහ ශ්‍රම බලකා අභියෝග පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර, දෙරටේම තිරසාර සංවර්ධනය උදෙසා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට තීරණය කෙරිණි.














