තිරසර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානය ලොවට වැදගත් පාඩමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. භූතානයේ පැවති ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර ඇති අතර, “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” යන තේමාව යටතේ සවිඥානික ආහාර පද්ධති පිළිබඳ මෙම ගෝලීය සමුළුව ඊයේ (01) ආරම්භ විය.
භූතාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව සංවිධානය කළ මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ අග්‍රාමාත්‍යවරිය, ආහාර නිෂ්පාදනයේ සිට ගබඩා කිරීම, සංරක්ෂණය සහ පරිභෝජනය දක්වා සොබාදහම සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් එම උරුමය ඉදිරියට ගෙන යාම පිළිබඳව ශ්‍රී ලාංකිකයකු ලෙස තමන් මහත් ආඩම්බරයට පත්වන බව සඳහන් කළාය. ප්‍රධාන දේශනයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය භූතාන අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරින් ටොබ්ගේ මහතා සමඟ ද සාකච්ඡාවකට එක් වූ අතර, ආහාර සුරක්ෂිතතාව, කෘෂිකාර්මික භාවිතයන්, කාන්තා රැකියා නියුක්තිය සහ තිරසාර සමාජ හා ආර්ථික සංවර්ධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබා දී තිබේ.














