ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන් සියලු දෙනාටම තමන්ගේම අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2026 ලෝක ජනාවාස දිනය වෙනුවෙන් “අවැසි පමණට – සැමට සෙවණ” තේමාව යටතේ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය විසින් අරලියගහ මන්දිරයේදී සංවිධානය කරන ලද උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. මෙහිදී දිවයින පුරා ඉදිකෙරුණු නව නිවාස 5,000 ක සංචිතයෙන් 5,000 වැනි නිවස විවෘත කිරීම සිදු කෙරුණු අතර, මෙතෙක් පැවති ජනතාව ප්‍රතිලාභීන් පමණක් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් රජය සම්පූර්ණයෙන්ම බැහැර වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අනාගත තිරසර නිවාස ප්‍රතිපත්තිය උදෙසා ජනාවාස තෘප්තතා දර්ශකය, හරිත ජනාවාස අභියෝගය සහ පරිසර හිතකාමී වැඩසටහන් ඇතුළු නව ප්‍රතිපත්තිමය වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඇය පෙන්වා දුන් අතර, රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන කිසිදු නිවාස ව්‍යාපෘතියක් අතරමග නැවැත්වීමට ඉඩ නොදෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මෙහිදී ප්‍රකාශ කළේය.
















