ශ්‍රී ලංකා පොඩ්කාස්ටර්වරුන්ගේ සංගමය විසින් කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේදී “නව මාධ්‍ය භූ දර්ශනය ගවේෂණය කිරීම” (Exploring the New Media Landscape) මැයෙන් උසස් පෙළේ සාකච්ඡාවක් මෑතකදී පවත්වන ලදී. ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන්, මාධ්‍ය වෘත්තිකයන් සහ කර්මාන්ත පාර්ශ්වකරුවන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන, රටේ නිර්මාණකරුවන්ගේ ආර්ථිකයේ ව්‍යුහාත්මක අභියෝග ජයගැනීම, නව අවස්ථා හඳුනා ගැනීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.
මෙහිදී ප්‍රධාන දේශනය පවත්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය කෞෂල්‍යා අරියරත්න මහත්මිය අවධාරණය කළේ විකාශනය වන ඩිජිටල් මාධ්‍ය අවකාශයට රජයේ දැඩි සහයෝගය හිමිවන බවයි. ස්වාධීන අන්තර්ගත නිර්මාණකරුවන් නවීන තොරතුරු බෙදා හැරීමේදී ඉටු කරන වැදගත් කාර්යභාරය ඇය පෙන්වා දුන් අතර, ඩිජිටල් වේදිකා සහ සන්නිවේදකයින් සඳහා වගකිවයුතු, සමෘද්ධිමත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව යළිත් තහවුරු කළාය.
සංගමයේ සභාපති සහ නීතිඥ නමිනි පණ්ඩිත මහත්මිය පුරවැසි සහභාගීත්වය වැඩිදියුණු කිරීමෙහිලා සහ දේශපාලනය, ආර්ථිකය හා යහපාලනය පිළිබඳ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමෙහිලා පොඩ්කාස්ටිං කලාව සතු බලය අවධාරණය කළාය. ඩිජිටල් සහ සාම්ප්‍රදායික මාධ්‍ය එකිනෙකා සමඟ තරඟ කරනවාට වඩා එකිනෙකාට අනුপূරක වන බව පෙන්වා දුන් ඇය, එම ක්ෂේත්‍ර ද්විත්වයම සමීපව කටයුතු කරමින් ඉහළ කර්මාන්ත ප්‍රමිතීන් සකස් කර ගැනීමටත් ආර්ථික අවස්ථා අත්පත් කර ගැනීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියාය. මීට අමතරව, ආරම්භක සාමාජික බෲනෝ දිවාකර දේශීය ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරණයේ වේගවත් ගමන මෙන්ම වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ කර්මාන්තයේ දිගුකාලීන තිරසාරභාවය තහවුරු කිරීමට ඒකාබද්ධ සංගමයක ඇති වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය.
තාක්ෂණය, නීතිය සහ මාධ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ තීරණාත්මක අංශ ආවරණය කරමින් විශේෂඥ මණ්ඩල සාකච්ඡාවක්ද මෙම අවස්ථාවට එක් කර තිබුණි.
















