වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක නොවූ 2025 මාර්තු 7 වැනිදා සිට මේ දක්වා කාලය තුළ, A4 කඩදාසියක මුද්‍රණය කළ ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කළ වාහන හිමියන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශවලට අනුකූලව මෙම අවසරය ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, නිල අංක තහඩු ලැබෙන තෙක් පවතින මෙම කාලය තුළ වුවද, ප්‍රමිතියෙන් තොර, අතින් ලියන ලද හෝ වෙනස් කරන ලද නිල නොවන අංක තහඩු භාවිතයෙන් වාහන ධාවනය කිරීම තවමත් නීත්‍යනුකූල නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු දත්තවලට අනුව දැනට අංක තහඩු 400,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට නොහැකිව ගොඩගැසී පවතී. මෙම ගැටලුවට විසඳුමක් ලෙස, නව පස් අවුරුදු කොන්ත්‍රාත්තුවක් යටතේ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම 2026 ජූනි 10 වැනිදා හෝ ඊට පෙර යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වැඩබලන කොමසාරිස් ජනරාල් කේ.පී.එන්.ටී.එන්. දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා තේරී පත් වූ ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජීස්’ සමාගම දැනටමත් වේරහැර පරිශ්‍රයේ යන්ත්‍ර සූත්‍ර සවි කර අවසන් සූදානමින් පසුවෙයි.














