එළඹෙන මැයි 28 වැනිදාට යෙදී ඇති හජ්ජි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ආගමික කටයුතු සාමකාමීව පැවැත්වීම අරමුණු කරගනිමින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට නිලධාරීන් යොදවා ඇති අතර, බැතිමතුන්ගේ ගමනාගමනයට බාධාවක් නොවන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ. ඊට අමතරව මුස්ලිම් බැතිමතුන් බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම, පාමුර, බීට්ටු සහ යතුරුපැදි සංචාර යොදවා ආරක්ෂාව තහවුරු කිරීමටත්, බුද්ධි නිලධාරීන් රාජකාරියේ යොදවා අවස්ථානෝචිතව තොරතුරු ලබා ගැනීමටත් පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.














