වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සහ යෝජිත නව කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධව ලෝක බැංකු සමූහයේ නියෝජිත කණ්ඩායමක් සමඟ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
මැදපෙරදිග පවතින භූ-දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් කලාපීය නාවික හා ලොජිස්ටික් ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවට උදා වී ඇති නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂ අවධානයට ලක් විය. වරායේ ආයෝජන ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් සහ වාණිජමය වශයෙන් ශක්තිමත්ව සිදු කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ සහාය ලබාගැනීමට එකඟ වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය විශේෂඥ උපදේශකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ද ලෝක බැංකු ප්‍රතිපාදනවලින් ලබා දීමට නියෝජිත පිරිස එකඟතාව පළ කළහ.
ශ්‍රී ලංකාව කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා රේගු ක්‍රියාවලියන් වේගවත් කිරීම, ආයෝජන දිරිගැන්වීම, BOI ක්‍රියාවලියන් වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය කිරීම මෙහි ප්‍රධාන අංග ලෙස හඳුනාගෙන ඇත. අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකු සමූහය වෙනුවෙන් ප්‍රායෝගික කළමනාකාරිණී ජෙන් ජුන්ග්ඉයුන් ඕ (Ms. Jen JungEun Oh) මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ස්ටෙෆන් මැසිං (Mr. Stephan Massing) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ද ඊට එක් වූහ.
















