විදෙස්ගත වන මව්වරුන් පිළිබඳ සාකච්ඡාවට අමතරව, 2027 වසර වන විට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව කාන්තා හා දරුවන් පිළිබඳ අමාත්‍යාංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව වෙත දන්වා තිබේ. අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 22 වැනි දින පාර්ලිමේන්තුවේදී පැවති මෙම කාරක සභා රැස්වීමේදී පෙරපාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
පෙරපාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නගාසිටුවීමේ අරමුණින් පවතින යටිතල පහසුකම් අඩුපාඩු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබේ. පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කරමින් රට පුරා ක්‍රියාත්මක වන සියලුම ආයතන සඳහා එකම මට්ටමේ ප්‍රමිතියක් ගෙන ඒම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
















