බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත් ක්රියාමාර්ගවල ප්රතිඵලයක් ලෙස බන්ධනාගාරගත රැඳවියන් සංඛ්යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්යවරයා අද (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ජූලි 1 වැනිදා වන විට 41,993ක්ව පැවති බන්ධනාගාර රැඳවියන් සංඛ්යාව සැප්තැම්බර් 30 වැනිදා වන විට 36,925 දක්වා අඩු වී ඇති බවයි. ඒ අනුව එම කාලය තුළ රැඳවියන් සංඛ්යාව 5,068කින් පහත වැටී තිබේ.
බන්ධනාගාරවල තදබදයට ප්රධාන හේතුවක් වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්රමාදය අවම කිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පුරවා කාර්ය මණ්ඩලය ශක්තිමත් කළ බව ද අමාත්යවරයා පැවසීය. ඒ අනුව අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙක තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 1,506ක් නිකුත් කර තිබේ.
ඉදිරි නීති සංශෝධන යටතේ රස පරීක්ෂකවරයාට භාණ්ඩයක් ලැබුණු පසු මාස දෙකක් ඇතුළත අදාළ වාර්තාව ලබාදීම අනිවාර්ය කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, මත්ද්රව්ය සම්බන්ධ නඩුවක් අවසන් වන තෙක් අදාළ ද්රව්ය සම්පූර්ණයෙන්ම රඳවා තබා ගැනීම වෙනුවට, ඒවා ඡායාරූපගත කර අවශ්ය අවස්ථාවල වීඩියෝගත කිරීමෙන් පසු මහේස්ත්රාත්වරයාට දැනුම් දී අධිකරණ කොන්දේසි යටතේ කඩිනමින් විනාශ කිරීමට බලය ලබාදීමට ද යෝජනා වී තිබේ.
මෙම සංශෝධන මඟින් සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ආරක්ෂා වන පරිදි නීතිමය ක්රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්යවරයා පැවසීය.














