රජය විසින් අවස්ථා දෙකකදී ඉහළ නංවන ලද පෞද්ගලික අංශයේ අවම ජාතික වැටුප තම සේවකයින්ට ලබා නොදෙන ආයතන සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගන්නා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. රාජ්‍ය බැංකුවල සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට නීත්‍යනුකූල අවම වැටුප නොගෙවීම පිළිබඳව ලැබුණු පැමිණිලි සලකා බලමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
වත්මන් රජය යටතේ පෞද්ගලික අංශයේ අවම වැටුප සහ දෛනික වැටුප 71%ක ඉහළ ප්‍රතිශතයකින් වැඩි කර ඇත. ඒ අනුව, මීට පෙර රු. 17,500ක්ව පැවති අවම මාසික වැටුප රු. 30,000 දක්වාත්, රු. 700ක්ව පැවති දෛනික වැටුප රු. 1,200 දක්වාත් ඉහළ නංවා ඇති අතර, මෙම නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක නොකරන ආයතන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
















