පෘථිවිය උණුසුම් කරන කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණින් කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම කෙරෙහි මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ. කඩොලාන මගින් පස සහ ජෛව ස්කන්ධය තුළ හෙක්ටයාරයකට කාබන් ටොන් 1,000ක් දක්වා ගබඩා කර ගැනීමේ අද්විතීය හැකියාවක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ කඩොලාන වනාන්තර විශේෂයෙන් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර, එහි අදියරක් ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ පාලකුඩා, අන්නමලයි 01 සහ අන්නමලයි 02 යන ප්‍රදේශවල කඩොලාන වනාන්තර රක්ෂිත ලෙස නම් කෙරිණි. එසේම, පුත්තලම දිස්ත්‍රික්කයේ මැරවල (1, 2, 3), වවුල්කැලේ, මරම්බැට්ටිය, කුසල සහ කරුකපයන් 2 යන ප්‍රදේශ ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම පියවර හරහා පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමටත්, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ස්වාභාවික ආරක්ෂක පවුරක් ගොඩනැගීමටත් සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇත.














