ශ්‍රී ලංකා–කටාර් ඒකාබද්ධ ශ්‍රම කමිටුවේ නවතම හමුව දෝහාහිදී පැවැත්වුණේ දෙරට අතර ශ්‍රම ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්. එහිදී විනිවිදභාවයෙන් යුතු සහ සදාචාරාත්මක බඳවා ගැනීමේ ක්‍රමවේද, ශ්‍රී ලාංකික සේවකයන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කෙරුණා.
කටාර්හි ශ්‍රම අමාත්‍යාංශයේ උප ලේකම් ෂෙයිකා නජ්වා බින්ත් අබ්දුල්රහ්මාන් අල් තානි සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහත්ම මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වුණා. පුහුණු සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන්ට කටාර්හි වැඩි රැකියා අවස්ථා සැලසීම සහ වෘත්තීය සුදුසුකම් අන්‍යෝන්‍යව පිළිගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරීමත් සමඟ, රැකියා අවස්ථා පුළුල් කිරීම, කුසලතා සංවර්ධනය සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම හමුවෙන් අපේක්ෂා කෙරෙනවා.













