දුම්රිය දෙපාර්‌තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල (පවර්‌සෙට්) සංචිතය ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර පවත්වාගෙන යෑමේ බරපතළ අර්‌බුදයක් මතුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. දුම්රිය කාලසටහනට අනුව ගමන්වාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වගකිවයුතු බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ප්‍රකාශ කළේය. එන්ජින් සහ බලවේග කට්ටල නඩත්තු නොකිරීම සහ භාවිතයෙන් ඉවත් කිරීම මෙම ධාවන අර්‌බුදයට සෘජුවම බලපා ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ දත්තවලට අනුව, ඉකුත් 2023 වසරේදී 106ක් ලෙස පැවති දුම්රිය එන්ජින් සංචිතය මේ වන විට 98ක් දක්වා අඩුවී ඇති අතර ඉන් එන්ජින් 8ක්ම භාවිතයෙන් ඉවත් කර තිබේ. දෛනික දුම්රිය ගමන්වාර 450කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම සඳහා එන්ජින් 74ක් අවශ්‍ය වුවද, මේ වන විට ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේ එන්ජින් 49ක් පමණි. එමෙන්ම 2023 වසරේදී බලවේග කට්ටල 109ක් සංචිතයේ පැවති අතර එය 106ක් දක්වා අඩුවී ඇත. ඉන් බලවේග කට්ටල 3ක් භාවිතයෙන් ඉවත් කර ඇති අතර, දෛනික සේවාවන් සඳහා බලවේග කට්ටල 88ක් අවශ්‍ය වුවද වර්‌තමානයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ බලවේග කට්ටල 52ක් පමණක් බව වාර්‌තා වේ.
මේ අනුව වර්‌තමානය වන විට දුම්රිය දෙපාර්‌තමේන්තුව තුළ බලවේග කට්ටල 26ක සෘජු හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තහවුරු කරයි. පවත්නා එන්ජින් සහ බලවේග කට්ටල හිඟය හේතුවෙන් දෛනිකව ධාවනය වන කාර්‌යාලීය සහ මගී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වීමේ අවදානමක් පවතින අතර, මෙය පොදු ප්‍රවාහන සේවය පරිහරණය කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට සෘජුවම බලපාන කරුණකි. දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය සහ අඛණ්ඩතාව රැකගැනීම වෙනුවෙන් ක්ෂය වන දුම්රිය සංචිත කඩිනමින් යාවත්කාලීන කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගත යුතු බව ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පොදු නිරීක්ෂණය වී තිබේ.














