වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගතවූ වසර එකහමාරක (1.5) කෙටි කාලසීමාව තුළ මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1400 කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය. පසුගිය 2023 වසරේ සිට වත්මන් රජය පත්වන තෙක්ම සමස්ත ජාතික පද්ධතියට ලබාගෙන තිබුණේ මෙගාවොට් 1400ක් වැනි ධාරිතාවක් වුවද, වත්මන් පාලනයේ කාර්යක්ෂමතාව හේතුවෙන් එම ධාරිතාව මෙගාවොට් 2800ක් දක්වා දෙගුණ කිරීමට සමත්ව ඇති බව ඇය මෙහිදී අනාවරණය කළාය.
“2023ේ සිට අපි ආණ්ඩුව ලබාගන්න කාලය දක්වා මෙගාවට් 1400ක් තමා පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් වලින් අපි ලබාගෙන තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවයින් පස්සේ මේ අවුරුදු එක මාර තුළ ඒක 2800 වැඩි කරලා තියෙනවා” යැයි අග්‍රාමාත්‍යවරිය සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නාය. පෙර රජයන් සතුව විවිධ බලශක්ති ව්‍යාපෘති සැලසුම් තිබුණද, ඒවායේ ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී මට්ටමක පැවති බවට චෝදනා කළ ඇය, “සැලසුම් තිබිලා තියෙනවා මීට කලින්. නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙලා නැහැ” යැයි ද සභාව හමුවේ දැඩිව ප්‍රකාශ කළාය.
බලශක්ති ක්ෂේත්‍රය යනු එක රැයකින් හෝ දෙකකින් ක්ෂණිකව වෙනස් කළ හැකි දෙයක් නොවන බවත්, එය සැලසුම් සහගතව දිගුකාලීන ඉලක්ක කරා යා යුතු විද්‍යාත්මක ක්‍රියාවලියක් බවත් අගමැතිනිය මෙහිදී සිහිපත් කළාය. පෙර පාලනයන් වසර ගණනාවක් තිස්සේ ලබාගත් ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් වත්මන් රජය වසර එකහමාරක් වැනි කෙටි කලකින් ලබාගනිමින්, තමන් සැලසුම් සහගත ඉලක්ක කරා ප්‍රායෝගිකව ගමන් කරන බව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇතැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් අවධාරණය කළාය.
















