දිවයින පුරා රෝහල් පද්ධතියේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ හේතූන් මත වසර ගණනාවක් පුරා අඩාලව තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් 2014 වසරේ සිට 2024 දක්වා විවිධ කාල වකවානුවලදී ආරම්භ කර අතරමග නතර වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පද්ධතීන් යළි සක්‍රීය කෙරේ. මෙරට ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම අරමුණු කරගනිමින්, මෙම ව්‍යාපෘති සඳහා 2025 වසරේදී මිලියන 16,000ක මුදලක් සහ 2026 වසර සඳහා මිලියන 19,000ක මුදලක් වෙන් කර ඇති අතර, 2027 වසරේදී තවත් මිලියන 38,000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.
ළමා හා මාතෘ සෞඛ්‍ය සේවා නංවාලීම, පිළිකා සහ හෘද රෝග ප්‍රතිකාර ඒකක ශක්තිමත් කිරීම මෙන්ම හදිසි අනතුරු සත්කාර සේවා වැඩිදියුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙම සංවර්ධන කටයුතු පෙළගස්වා තිබේ. ද සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ “පුංචි හදවත්” ඒකකය, මහනුවර ජාතික පිළිකා ප්‍රතිකාර ඒකකය සහ බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් ගොඩනැගිල්ල ඇතුළු ව්‍යාපෘති ගණනාවක් මේ වන විටත් නිමවෙමින් හෝ අවසන් අදියරට ළඟා වී ඇත. යටිතල පහසුකම් නවීකරණය සඳහා පමණක් අතිරේකව රුපියල් මිලියන 8,800කට අධික මුදලක් වෙන් කිරීම මගින්, රෝහල් පද්ධතියේ පවතින සීමාවන් මගහැර යමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිම්මක් පැනීමට රජය අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘති කඩිනමින් නිම කර ජනතා සේවයට එක් කිරීම සඳහා අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති අතර, ඒ හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු ගණනාවකට ස්ථිරසාර විසඳුම් ලැබෙනු ඇත. ජාතික රෝහල් පද්ධතියේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජයිකා (JICA) ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ඇතුළු නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්වීම, ඉදිරි වසරවලදී මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක මට්ටම ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා රැගෙන යාමට දායක වනු ඇත. දේශපාලන හා පරිපාලනමය වෙනස්කම්වලින් ඔබ්බට ගොස් මෙවැනි ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘති අවසන් කිරීම, රටේ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයටත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් සෘජුවම බලපානු ඇති බව නොරහසකි.
















