ශ්‍රී ලංකාව විසින් 2025 වසරේදී සහල් මෙට්‍රික් ටොන් 180,000ක් ආනයනය කර ඇති බව වාර්තා වේ. මෙය මුලින් සැලසුම් කර තිබූ මෙට්‍රික් ටොන් 75,000ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි. දේශීය සහල් සැපයුම ස්ථාවර කිරීම සඳහා මෙම පියවර ගත් බව වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.
ආනයන ප්‍රමාණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මුලින් සැලසුම් කළ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වීම නිසා ආනයන ඉලක්කය මෙට්‍රික් ටොන් 180,000ක් දක්වා ඉහළ නැංවූ බවයි. මෙයට කීරී සම්බා සඳහා විකල්පයක් ලෙස ආනයනය කළ ‘කීරී පොන්නි සම්බා’ ඇතුළු වර්ග මෙට්‍රික් ටොන් 156,000ක් ඇතුළත් වේ. මෙම සහල් ආනයනය සිදු කර ඇත්තේ දින 14ක විශේෂ කෙටි කාලසීමාවක් තුළ ටෙන්ඩර් පටිපාටියකින් තොරවය. එසේම මෙතෙක් රතු කැකුළු සහල් ආනයනය කර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
සහල් ආනයනය නිසා දේශීය වී මිල අඩුවීමක් සිදුවී නොමැති බව රජයේ ස්ථාවරයයි. වී නිෂ්පාදනයේ අතිරික්තයක් පැවතීම නිසා දේශීය වෙළෙඳපොළේ මිල පාලනය අපහසු වී ඇති බවත්, වී කිලෝග්‍රෑමයක සහතික මිල රුපියල් 120ක් වුවද, වෙළෙඳපොළේ සහල් මිල රුපියල් 155ත් 190ත් අතර පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මෙම කරුණු තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු පෙන්වා දෙන්නේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.45ක් පමණක් වන විට, ලංකාව සෑම වසරකම වී මෙට්‍රික් ටොන් මිලියන 4.6ත් 5ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි. රට තුළ දැනටමත් වී අතිරික්තයක් පවතිද්දී රජය මෙලෙස පාලනයකින් තොරව සහල් ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළ අස්ථාවර වී ඇති බව ගොවි සංවිධාන පවසයි.
















