27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ කලා මාධ්‍ය විරෝධාකල්ප වලින් පිරිලා – මන්ත්‍රී විමලවීර

ගීත, ටෙලි නාට්‍ය, ප්‍රවෘත්ති තුළින් විරෝධාකල්පයක් ඈදා ගන්නා අතර හොරකම්, ප්‍රචණ්ඩක්‍රියා සිදු කරන ක්‍රම සහ දේශපාලන චරිත සියල්ලට වෛරය ක්‍රෝධය එල්ල කරමින් කලා මාධ්‍ය තුළින් මේ වන විට නිෂ්පාදන කටයුතු සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “අපි මේ දිනවල පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා ක්‍රියාත්මතක කරමින් සිටිනවා. දිස්ත්‍රික්ක පුරා, ආසන පුරා යමින් මන්ත්‍රිවරු, ඇමතිවරු, පක්ෂයේ නායකයෝ ගම්බිම් කරා ගමන් කරමින් පක්ෂය නැවත ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. එහි යම් ප්‍රගතියක් තිබෙන බව පෙනියනවා. මීට පෙර කිසියම් විදිහකින් පසුතැවිමක් හා පසුගාමිත්වයකින් සිටි පාක්ෂිකයෝ අද පක්ෂයත් එක්ක ඉස්සරහට එමින් තිබෙනවා. මේ මොහොත වන විට අරගල භුමියේ හිටපු ඇතැම් ලඳබොලඳ ප්‍රකාශ මේ දවස්වල අපිට ඇසෙන්නට ලැබෙනවා. පහුගිය කාලයේත්, මේ කාලයෙත් ආණ්ඩුට විරුද්ධ වෙන්න ජනතාවට හේතු තිබුණා. ඒ අයට ඒවට විරුද්ධ වීමට සාධාරණ අයිතියක් තිබෙනවා.හැබැයි නිත්‍යානූකූලව, ව්‍යවස්ථානුකූලව පත් වෙච්ච ආණ්ඩුවකට ත්‍රස්තවාදි ක්‍රියා භාවිතා කරලා එය පෙරලා දමන්නට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ.ඇත්තටම මේ රටේ අරගලයක් සිදුවුණා කියලා කියනවා නේ. කවුද එය මෙහෙයවුයේ කියලා දන්නේ නෑ. එහි හිටපු අයත් කොහෙද යන්නේ කියලා දැනගෙන හිටියේ නෑ. ඔවුන් හිතුවක්කාර විදිහට ත්‍රස්තවාදි විදිහට ආයතනවලට පැනලා, අරලියගහ මන්දිරයට ගිහිල්ලා, ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ඒ සියල්ල විනාශ කළා. හැබැයි ඒවා රටේ ජාතික ආරක්ෂාව සඳහා ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්.දැන් ගීත වලින්, ටෙලි නාට්‍ය වලින් විරෝධාකල්පයක් ඈදලා ගන්නවා. හොරකම් කරන හැටි, ප්‍රචණ්ඩ ක්‍රියා කරන හැටි දේශපාලන චරිත හැමෝටම වෛරය ක්‍රෝධය එල්ල කරමින් ගීත , චිත්‍රපට, ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන තත්වයට පත්වෙලා. යුරෝපයේ පුරාත් විරෝධාකල්ප වේගයෙන් පැතිර යනවා. දැන් මේ විදිහට ගත්තාම ශ්‍රී ලංකාවේ කලා මාධ්‍ය ගත්තාම විරෝධාකල්පවලින් පිරිලා. ඒ වගේම ප්‍රවෘත්තිවලින්ද හැම විටම කාටහරි අපහස කරන එක, විරුද්ධ වෙන එක, පෙළපාලි කරන එකයි දකින්න ලැබෙන්නේ. එහි ප්‍රතිපලය තමයි වෛරය , ක්‍රෝධය අසහනය විතරයි ජනතාවට ඉතුරු වෙන්නේ. පාසල් පංති අතරටද මේ විරෝධාකල්ප ගමන් කරමින් තිබෙනවා. රටේ හැමතැනම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මෙය මහා විනාශයක්. මේ රට , ජනතාව , දරුවෝ ගලවා ගන්න ඇයි කවුරුත් ඉදිරියට එන්නේ නැත්තේ. මේ මහා විනාශයෙන් ගොඩ ඒමට දැවැන්ත වැඩපිළිවෙළක් හදන්න ඕන. විවිධ කාරණා නිසා මේ රට විනාශ වෙන්නයි යන්නේ. ජිවිත විචාරණයක් ඇති සමාජ දේශපාලන යථා සුවභාවය ග්‍රහණය කරගත හැකි නිර්මාණශීලි මිනිස්සුයි මේ රටේ අවශ්‍ය වෙන්නේ. පහුගිය කාලයේ ගෝල්ෆේස් එකේ හිටපු අරගල කාරයෝ,අරගල කාරියෝ මහා දේවල් කිව්වා. පාර්ලිමේන්තුවේ සිටින 225 ම තක්කඩියෝ, හොරු කියලා ඒ අයගෙන් වැඩක් නැහැ කියලා කිව්වා. දමිතා අබේරත්න මහා නිළිය අරගලයේ නායිකාව සජිත් ප්‍රේමදාස මැතිතුමා උතුම් පුර්ෂයෙක් කියලා කියනවා. එතුමා 225 එක්කෙනෙක් නොවේද? එතුමා උතුම් පුරුෂයා ලෙස ප්‍රකාශ කරන්නේ ඇයව පොලිසියට බැලීමට පැමිණිම සහ නිතියේ සහය ලබාදීම නිසයි. මේ මහා නායිකාව නේද ගෝඨා ගෝ හෝම්, මයිනා ගෝ හෝම් කිව්වේ. මෙය අරගලයක් ද? මේ සිටියේ අවස්ථාවාදියෝ නේද? ඉලක්කයක් නැති මේ මිනිස්සු පස්සේ මේ සමාජය ගියා නේද? අතුකෝරාළ වගේ අහිංසක මිනිස්සු මැරුවා නේද ? අන්තිමේදි මේ හිස් මිනිස්සුන් ඔසවා තබන්න මාධ්‍යත් එකුත් වුණා නේද? අපිට විරෝධාකල්ප වලින් විතරක් රටක් හදන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 55 ක් මේ රටේ දේශපාලනය කළත් ගොඩ නගලා තිබෙන්නේ වෛරයයි ක්‍රෝධයයි. 87/88 තරුණයෝ මෙහෙව්වා. ඒ නිසා දූදරු සම්බන්ධතාව පවා වෛරය, ක්‍රේාධසහගත සම්බන්ධයක් බවට පත් කෙරුවා. මේ අරගලකාරයොන්ට කලෙත් ඒ අය එයමයි. දැන් ඔක්කෝම හිස්. රට හදන විදිහක් නොවේ රට විනාශ කරන්නේ කොහොමද කියලා තමයි හොයන්නේ. කලින් ජාතික සභාව ගේන්න කියලා දැන් එයට එන්න බැරි හේතු කියනවා. ඇවිල්ලා එයට එකතුවෙලා, වගකීමක් අරගෙන යම්කිසි මෙහෙයක් කරන්න උනන්දුවක් නොවි විරෝධාකල්ප විතරක් ප්‍රචාරණය කරනවා. විරෝධාකල්ප වලින් විතරක් රටක් හදන්න බෑ කියලා අපි හැමෝම තේරුම් ගන්න ඕන.”මන්ත්‍රී විමලවීර මහතා මෙහිදි සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *