27 April 2024
#දේශීය

ලංකාවේ ප්‍රථම ජාතික කුළුබඩු උද්‍යානය අනුබද්ධ වෙළෙඳ සැල විවෘත කෙරේ 

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අභිනවයෙන් ඉදිකරන ලද ජාතික කුළුබඩු උද්‍යානයට අනුබද්ධ කුළුබඩු වෙළෙඳසැල සහ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරිම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ හා කුඩා වැවිලි බෝග ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දීසානායක හා නාලක කෝට්ටෙගොඩ යන මහත්වරුන් සම්බන්ධ විය.

මෙයට සම්ගාමීව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්‍යේශන) ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා ප්‍රමුඛ පර්‍යේශකයන් විසින් පහතරට ප්‍රදේශවලට ධන නිධානයක් බඳු, අභිනවයෙන් හඳුන්වාදුන් “රන්වැලි යසස් ශ්‍රී” නමින් යුතු නව එනසාල් ප්‍රභේදයගොවි මහතුන් වෙත හදුන්වා දීම හා එහි පැල බෙදා දීම ද සිදු විය.

එමෙන්ම 2022 වසරේ ක්‍රියාත්මක කෙරෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සංග්‍රාමය වන “හරිත දැයක් වාණිජ ගෙවතු” වැඩසටහනේ අපනයන කෘෂි ක්ෂේත්‍රයට අදාළ සමාරම්භය සනිටුහන් කරමින් එම ගෙවතු පැළ ප්‍රතිලාභීන් වෙත බෙදා දීම එදින දී සිදු වූ තවත් විශේෂ කාර්‍යයකි.

ඊට අමතරව පසුගිය 2021 වසරේ කහ වගා කොට අප රට කහ අස්වැන්නෙන් ස්ව්‍යංපෝෂිත කිරීමට උරදුන් මාතලේ දිස්ත්‍රික්කයේ කහ ගොවීන් වෙත ඔවුන්ගේ බීජ කහ වෙනුවෙන් ලබාදෙන ආයෝජන ආධාර මුදල් ලබාදීමත්, තම අපනයන බෝග වගා ඉඩමේ ඵලදායිතාවය ඉහළ නංවා විදේශ විනිමය උපයා දේශීය ආර්ථිකය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් එම ගොවි ජනතාව ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ පිරිනැමීමත් මෙදින දී සිදු විය.

ඒ අනුව දේශීය හා විදේශීය සංචාරකයන් සදහා මෙම උද්‍යානය විවෘත වන අතර ම ඔවුන්ට අවශ්‍ය කුළුබඩු ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන මෙන්ම දේශීය වගාකරුවන් සදහා අවශ්‍ය කුළුබඩු බෝග පැල මෙම පරිශ්‍රය තුළින් සාධාරණ මිලකට මිල දී ගත හැකි වේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්‍යෙශන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ආනන්ද සුබසිංහ මහතා ප්‍රමුඛ එම කාර්‍යාලයේ නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

කුඩා වැවිලි බෝග ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඪිකෝරාල මහතා, අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී දිස්නා මෙනවිය, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, ජාතික කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුනි ගුණසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශයේ හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම පාර්ශ්වකරුවන් පිරිසක් සහභාගි විය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්‍යෙශන මධ්‍යස්ථානය ආසන්නයේ ම පිහිටා ඇති මෙම ජාතික කුළුබඩු උද්‍යානය වෙත පිවිසිම සදහා, මාතලේ නගරයේ සිට යාපනය මහනුවර ඒ9 (A9) ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට ගමන් කර (කිලෝමීටර් 3ක් පමණ) ඉන් අනතුරුව කන්දේනුවර මාර්ගයට පිවිස කිලෝමීටර් එක හමාරක (1 1/2) පමණ දුරක් ගමන් කිරිමෙන් පිවිසීමට හැකියව ඇත.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *