රජයේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් ඉලක්කගත දරුවන් පිරිසකට නොමිලේ ආහාර වේලක් ලබාදීමකට පමණක් සීමා නොවී, සමස්ත පාසල් පද්ධතිය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර රටා, යහපත් පෝෂණ දැනුවත්භාවය සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කිරීම අරමුණු කරගත් පුළුල් වැඩසටහනක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා තිබේ.
ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. රට තුළ පෝෂණ ගැටලු තවදුරටත් දැඩි අවධානයට ලක් කළ යුතු කරුණක් බව පෙන්වා දුන් ඇය, ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සමඟ නිවැරදි ආහාර රටා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද අවධාරණය කළාය.
වර්තමානයේ ශීඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග (NCDs) වළක්වා ගැනීම සඳහා ඒවාට බලපාන මූලික හේතු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, පෝෂණය සහ සෞඛ්‍යය සම්බන්ධ ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී හුදු අනුමාන මත නොව, නිවැරදි විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත මත පදනම්ව කටයුතු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් අගය කළ අතර, ඒ සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බවට සහතික වූහ. මෙම සාකච්ඡාව සඳහා ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ පිලිප් වෝඩ්, නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර්, සිඩ්නි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජය ශ්‍රී අර්කොට් ඇතුළු නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.
















