විවිධ පලතුරු සුවඳින් නිපදවා ඇති ඉලෙක්ට්‍රොනික් දුම්වැටි හෙවත් ඊ-සිගරට් භාවිතයට පාසල් සිසුන් වැඩි වශයෙන් හුරුවීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය අවධාරණය කරන්නේ, ඊ-සිගරට් තුළ ඇබ්බැහිකාරක නිකොටින් අඩංගු බැවින් ඒවා පාසල් දරුවන්ට අලෙවි කිරීම සපුරා තහනම් බවයි. මෙම දුම්වැටි භාවිතය දරුවන්ගේ පෙනහළු සහ මොළයේ සෛල විනාශ වී විකෘතිතාවන්ට ලක්වීමට හේතු විය හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
සැකකරුවන් විසින් ඔන්ලයින් ක්‍රමවේද හරහා ඉතා සූක්ෂම ලෙස මෙම දුම්වැටි පාසල් සිසුන්ට අලෙවි කරන බව අනාවරණය වී ඇත. මෑතකදී පෑලියගොඩ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් ඊ-සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර ස්මාර්ට් වොච් ආකාරයට සකස් කළ ඉලෙක්ට්‍රොනික් දුම්වැටි ද තිබී සොයාගෙන ඇත. දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගිය සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මෙම නිෂ්පාදන පාසල් සිසුන් සහ තරුණ තරුණියන් අතර ඉහළ ප්‍රචලිත බවක් පවතින බවයි. එක් ඉලෙක්ට්‍රොනික් දුම්වැටියක දුම්වාර 50,000ත් 60,000ත් අතර ප්‍රමාණයක් අන්තර්ගත වන බව සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කරයි.
















