ශ්‍රී ලංකාවේ දේශීය බීජ නිෂ්පාදන ක්ෂේත්‍රය අඩපණ කරමින්, විදේශයන්ගෙන් බීජ ආනයනය කිරීමේ දැවැන්ත මාෆියාවක් ක්‍රියාත්මක වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.දේශීය අර්තාපල්, එළවළු සහ බඩ ඉරිඟු නිෂ්පාදනය අකර්මන්‍ය වීම නිසා පසුගිය වසරේ පමණක් බීජ ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 13.5ක් (රුපියල් කෝටි 220ක් පමණ) වැය කර ඇත. 2024 වසරේදී මෙම අගය ඇමරිකන් ඩොලර් මිලියන 11.1ක් විය. අර්තාපල් බීජ මෙට්‍රික් ටොන් 1,500ක්, බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 2,500ක්, එළවළු බීජ මෙට්‍රික් ටොන් 260ක් සහ සෙසු රෝපණ ද්‍රව්‍ය සහ විසිතුරු මල් මෙට්‍රික් ටොන් 3,000කට ආසන්න ප්‍රමාණයක් වේ.ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ නෙදර්ලන්තය ප්‍රධාන වශයෙන් බීජ ආනයනය කෙරෙන රටවල් වේ.ගොවිජන එකමුතුවේ ස්ථාවරය: රටේ සමස්ත බීජ අවශ්‍යතාවයෙන් 93%ක්ම ආනයනය කරනු ලබයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු මහා පරිමාණ බීජ ගොවිපල් 20ක් තිබියදීත්, මෙලෙස බීජ ආනයනය කිරීම පිටුපස දේශපාලනඥයින් සහ කෘෂිකර්ම බලධාරීන් සම්බන්ධ “බීජ මාෆියාවක්” පවතින බව සභාපතිවරයා චෝදනා කරයි.දේශීය නිෂ්පාදනය නංවාලීම වෙනුවට විදේශයන්ගෙන් බීජ ගෙන්වීම මගින් මෙරට ගොවියා සහ ආර්ථිකය දැඩි ලෙස සූරාකෑමට ලක්වන බව ජාතික ගොවිජන එකමුතුව වැඩිදුරටත් අවධාරණය කරයි.
















