මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන රජත පුස්තක, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සහ කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය පිළිබඳව එම සංගමයේ සභාපති අතුල ජයකොඩි මහතා දැක්වූ අදහස් මෙසේය.
රජත පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් 3 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙවර කෙටිකතා පොත් 33ක්, කවි පොත් 71ක් සහ යොවුන් සාහිත්‍ය කෘති 43ක් තරගයට ඉදිරිපත් වී ඇති අතර, ඒ සෑම කාණ්ඩයකින් පොත් 4 බැගින් අවසාන වටයට තෝරාගෙන ඇත. මෙවර රජත පුස්තක සම්මාන උළෙල පැවැත්වෙන්නේ 10 වන වතාවටය.
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් 19 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බර්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත්කළ නවකතා 173ක් අතරින් අවසාන පොත් 5ක් මේ වන විට තෝරාගෙන ඇති අතර, මෙවර එය පැවැත්වෙන්නේ 20 වන වතාවටය.
මීට පෙර සම්මාන උළෙල එකම දිනක පැවැත්වීමට තීරණය කර තිබුණද, සිංහල භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත්කෙරෙන කෘති සඳහා ‘Book Award’ ලෙස නම් කිරීම නුසුදුසු බව විද්වතුන් පෙන්වා දීම නිසා, වැඩි වියදමක් දැරීමට සිදුවුවද උළෙල දෙකක් ලෙස පවත්වන්නට නව අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.
මණ්ඩල කිහිපයක් සිටින විට මතභේද ඇති වන බැවින්, මුල් අවස්ථාවේ සිට අවසාන තීරණය දක්වා එකම විනිශ්චය මණ්ඩලයක් යොදාගැනීමට මෙවර කටයුතු කර ඇත. එවිට කිසිවකුටත් පොතක් මඟඇරුණා යැයි පැවසීමට අවස්ථාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙයි.
කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 25 වන දින සිට ඔක්තෝබර් 4 වන දින දක්වා දින දහයක් පුරා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
සාහිත්‍ය උත්සව පැවැත්වීම සහ පොත් අලෙවිය අතර සම්බන්ධය පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ ප්‍රකාශකයෝ යනු ව්‍යාපාරිකයන් වන බැවින්, සාහිත්‍ය උත්සව හා කථිකාවල් හරහා පොතපත ප්‍රචලිත කරමින් අලෙවිය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම සාධාරණ බවයි.














