ඉන්දුනීසියාව සහ පිලිපිපීනයේදී පැවති ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙඩි තැබීමේ තරගාවලි දෙකකදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව පදක්කම් 10ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය (NRA-SL) නියෝජනය කරමින් සහභාගී වූ මෙම ක්‍රීඩක ක්‍රීඩීකාවෝ රටවල් 40කට අධික සංඛ්‍යාවක ප්‍රබල ක්‍රීඩකයන් පරදවා මෙම විශිෂ්ට දස්කම් දැක්වූහ. ඉන්දුනීසියාවේ පැවති ‘බාලි විවෘත IPSC හැන්ඩ්ගන් සහ PCC ශූරතාවලිය 2026’ (Bali Open IPSC Handgun & PCC Championship 2026) හිදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. විශේෂයෙන්ම PCC ඔප්ටික්ස් – කණිෂ්ඨ කාණ්ඩයේ පළමු, දෙවන සහ තෙවන යන ප්‍රථම ස්ථාන තුනම දිනාගනිමින් ශ්‍රී ලංකාර ක්‍රීඩකයෝ අගනා ජයග්‍රහණයක් වාර්තා කළහ.
මීට අමතරව, පිලිපීනයේ පැවති ‘කඩයාවන් උළෙල වෙඩි තැබීමේ ශූරතාවලිය 2026’ (Kadayawan Festival Shooting Championship 2026) හිදී තවත් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි මෙම ජයග්‍රාහී ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් වජිර සෙනරත් මහතා ඇතුළු නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.














