ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක දඹුල්ල – සීගිරිය සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගත් තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියේ දඹුල්ල – සීගිරිය අදියර ඊයේ (20) සීගිරියේදී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
අමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සංචාරක ගමනාන්තවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, තරගකාරිත්වය ඉහළ නැංවීම සහ නාගරික සේවා සංවර්ධනය කිරීමයි.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නව ගම්මාන වාහන නැවැත්වීමේ ස්ථානය, සියවස මාවත, සීගිරි වැව, විදේශීය සංචාරක වාහන නැවැත්වීමේ ස්ථානය, කෞතුකාගාර පරිශ්‍රය සහ එළිමහන් රංග පීඨය වැඩිදියුණු කිරීමට මාස 18ක් තුළ රුපියල් මිලියන 1,206ක් වැය කිරීමට නියමිතයි. දෙවන අදියර යටතේ මාපාගල, පිදුරංගල සහ කළු දිය පොකුණ සංරක්ෂණය කිරීමත්, රාමකැලේ සිට තල්කොටේ දක්වා කිලෝමීටර් 11ක උරුම මාවත සංවර්ධනය කිරීමත් මාස 30ක් තුළ රුපියල් මිලියන 1,085ක වියදමින් සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරනවා.













