ගීතවල ප්රකාශන හිමිකම් සහ කතෘභාග සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමටත්, කලාකරුවන්ට සිදුවන බව කියන අසාධාරණකම් වැළැක්වීමටත් රජය මැදිහත් වී විධිමත් ක්රමවේදයක් සකස් කළ යුතු බව ශ්රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති, ප්රවීණ ගායක ජගත් වික්රමසිංහ මහතා පවසයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරමින් එම සංගමය අද (28) කොළඹදී පැවැත්වූ මාධ්ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
2003 වසරට පෙර නිර්මාණය වූ ගීත සම්බන්ධයෙන් කතෘභාග ගෙවීමේ ගැටලු පවතින බව පෙන්වා දුන් ජගත් වික්රමසිංහ මහතා, ජනාධිපති කමිටුවේ අවසන් තීරණය ලැබෙන තෙක් බාහිර ආයතන වෙත කතෘභාග ගෙවීමෙන් වළකින ලෙස කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, Singras.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී තම ගීතවල අයිතිය තහවුරු කරගන්නා ලෙසද ඔහු දැනුම් දුන්නේය.
කතෘභාග එකතු කිරීම සහ බෙදාහැරීම සඳහා රාජ්ය ආයතනයකට අනුබද්ධ විනිවිදභාවයෙන් යුතු යාන්ත්රණයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. ඇතැම් පාර්ශ්ව තමන්ට අයිති නොවන ගීත සඳහාද කතෘභාග ලබාගැනීමට ඉදිරිපත් වන බවට චෝදනා කළ ඔහු, වර්තමානයට ගැළපෙන පරිදි නීති සංශෝධනය කිරීමේ අවශ්යතාවද අවධාරණය කළේය.
ප්රසංගවලදී කතෘභාග ලෙස මුදල් අයකරන ඇතැම් ආයතන එම මුදල් බෙදාහැරීම සහ මූල්ය වාර්තා සම්බන්ධයෙන් ප්රමාණවත් විනිවිදභාවයක් පවත්වාගෙන නොයන බවටද සංගමය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ කාර්යාලයට, වෙළඳ අමාත්යාංශයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවද ජගත් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
















