ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින්, විදේශීය චිත්‍රපට, වාර්තා වැඩසටහන් සහ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම ක්‍රමවත් කරන ‘Single Window’ අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව මෙම නව යාන්ත්‍රණය සැලසුම් කෙරේ.
දැනට විදේශීය නිෂ්පාදකයින්ට විවිධ රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබාගැනීමට සිදුවීම නිසා රූගත කිරීම් සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය දීර්ඝ හා ප්‍රමාද සහිත එකක් වී ඇත. මෙම ගැටලුවට විසඳුමක් ලෙස ස්ථාපිත කෙරෙන ‘Single Window’ ක්‍රමය හරහා, සියලුම අනුමැතීන් එකම ස්ථානයකින් ඉතා කාර්යක්ෂමව ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම නව යාන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් චිත්‍රපට රූගත කිරීම් සඳහා වඩාත් සුදුසුම ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීමත්, චිත්‍රපට කර්මාන්තයේ තරගකාරීත්වය ඉහළ නංවමින් සංචාරක ආකර්ෂණය සහ ආර්ථික ප්‍රතිලාභ වර්ධනය කිරීමත් අපේක්ෂා කෙරේ. මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්, අමාත්‍යාංශ නියෝජිතයින් සහ සංචාරක හා චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් පිරිසක් සහභාගී වූහ.














