ශ්‍රී ලංකාවේ සුනඛයන් හරහා පැතිරෙන ජලභීතිකා රෝගය පාලනය කිරීම වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන පහකට අධික මුදලක් වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා සඳහන් කරයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ජලභීතිකා රෝගය අවම කිරීම සඳහා පැවැති විශේෂ රැස්වීමකදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.
වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා පෙන්වා දුන් ආකාරයට මෙම වියදම් දැරෙන අතර සුනඛයන් සඳහා ජලභීතිකා මර්දන එන්නත් ලබා දීමට වාර්ෂිකව රුපියල් මිලියන 800ක් වැය කරනු ලැබේ. සුනඛයන් සහ බළලුන් සපා කෑම නිසා මිනිසුන්ට එන්නත් ලබා දීම සඳහා රුපියල් මිලියන 4,000ක් එනම් බිලියන 4ක් වැය වේ.
ශ්‍රී ලංකාව තුළ ගෘහාශ්‍රිත සහ වීදි සුනඛයන් ලක්ෂ 27ත් 30ත් අතර ප්‍රමාණයක් සිටින අතර ඉන් 98%කටම ජලභීතිකාව බෝවන්නේ සුනඛයන් මගිනි. දැනට සමස්ත සුනඛ ගහනයෙන් 54%කට පමණක් වාර්ෂිකව එන්නත් ලබා දෙන බවත් එම ප්‍රතිශතය 80% දක්වා ඉහළ නැංවුවහොත් ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
රත්නපුර, කුරුණෑගල, යාපනය සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. මෙම අවස්ථාව සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.
















