විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන 25 වැනි “චීන පාලම” චීන ප්‍රවීණතා තරගය කොළඹ වරාය නගරයේදී (Port City) පසුගියදා ඉතා සාර්ථක අයුරින් පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරඟාවලිය කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය සහ කොළඹ වරාය නගරය එක්ව සම සංවිධානය කර තිබුණි.
මෙවර තරගාවලිය “එක් ලෝකයක්, එක් පවුලක්” (One World, One Family) යන තේමාව යටතේ කොටස් තුනකින් සමන්විත වූ අතර, ඊට චීන දැනුම පිළිබඳ ලිඛිත පරීක්ෂණයක්, චීන කථාවක් සහ චීන සාම්ප්‍රදායික කුසලතා ප්‍රදර්ශනයක් (Talent Show) ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් නියෝජනය කරමින් සිසුන් 123 දෙනෙකු මෙවර තරගාවලිය සඳහා එක්ව සිටි අතර, එය චීන පාලම තරග ඉතිහාසයේ වැඩිම සහභාගිත්වයක් වාර්තා වූ අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.
උණුසුම් තරගකාරීත්වයකින් අනතුරුව, තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ආර්.ඩී.එන්. ප්‍රේමරත්න ශිෂ්‍යාව සමත් වූවාය. ඒ අනුව ඇය චීනයේ පැවැත්වෙන ගෝලීය අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ස්වර්ණමය අවස්ථාව හිමිකරගෙන ඇත.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දිකා මහේෂ් කරුණාතිලක, චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ජි ලිලි (Ji Lili) මහත්මිය ඇතුළු දෙරටේ අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් මෙන්ම ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් 100කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
















