ඉරිදා දිනය දහම් පාසල් සඳහා වඩාත් ප්‍රමුඛතාවක් ලබා දීමේ අරමුණින්, එම දිනයේ පවත්වන පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කර ඇත.
අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මෙම කාරක සභා රැස්වීමේදී, දරුවන්ගේ දහම් පාසල් පැමිණීම දිරිමත් කිරීම සඳහා උපකාරක පන්ති කාලසටහන්වල ඇතිවන බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
දරුවන් බොහෝ දෙනෙකු ඉරිදා දිනවලදී උපකාරක පන්ති සඳහා සහභාගි වීම හේතුවෙන් දහම් පාසල් වෙත පැමිණීමේදී ගැටලු මතුවන බව හඳුනාගෙන ඇති අතර, එය විසඳීම සඳහා ගත හැකි නියාමන පියවර සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. මෙම නව වැඩපිළිවෙළ හරහා දහම් පාසල්වලට බාධාවකින් තොරව දරුවන්ට සිය අධ්‍යාපනික සහ ආගමික කටයුතු සමබරව කරගෙන යාමට අවස්ථාව සලසා දීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
















