ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පාපන්දු තරගාවලිය වන ‘සුපර් ලීග්’ (Super League) පාපන්දු තරගාවලිය වසර තුනක විරාමයකින් පසු ඊයේ (11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් එක්ව සිටියහ.
මෙරට පාපන්දු ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන මෙම තරගාවලිය සඳහා මෙරට ප්‍රමුඛතම වෘත්තීය පාපන්දු සමාජ 10ක් සහභාගී වේ. සති 9ක් පුරා සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලිය, නොවැම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන සාෆ් (SAFF) කුසලාන තරගාවලිය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින්ට ඉතා වටිනා පුහුණු වේදිකාවක් වනු ඇත.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව පැවැති තරගාවලියේ පළමු තරගය ලෙස ‘නිව් යංග්ස්’ ක්‍රීඩා සමාජය සහ ‘බ්ලූ ඊගල්ස්’ ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්විණි. උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගය අවසානයේ ගෝල 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයෙන් තරගය නිමා කළහ.
















