ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයකින් නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතිය තුළ නඩු ගොඩගැසී, යුක්තිය පසිඳලීමේ කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග පවසයි.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු තුනක් මාස ගණනාවක් තිස්සේ පවතින අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති මෙම ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දේශපාලන හා නීති ක්ෂේත්‍රයෙන් දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. නිදහස් නීතිඥ සංගමය මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් ද පෙන්වා දෙන්නේ ඇතැම් පුරප්පාඩු මාස හයකටත් වඩා පැරණි බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ඇතුළු සංවිධාන වෙත පැමිණිලි කිරීමට ද විපක්ෂය සූදානම් වෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, විනිසුරුවන් පත් කිරීම ප්‍රමාද කිරීම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බවයි. “සෂී වීරවංශ ඇතුළට දානවා… මහාධිකරණයෙන් ඒ අයට වුවමනා අය හිරේට දැම්මට පස්සෙද උසස්වීම් දෙන්නේ? ඒක තමයි මෙතන තියෙන සැකය” යනුවෙන් ද ඔහු ප්‍රශ්න කර සිටියේය.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, අදාළ විනිසුරු පුරප්පාඩු අනිවාර්යයෙන්ම පුරවන බවයි. නමුත් ඒවා පුරවන නිශ්චිත කාලය සහ ක්‍රමවේදය පිළිබඳව මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.















