පොලිස් අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට විසකුරු ආකාරයෙන් සලකන බවට සමාජය තුළ මතුව ඇති කතිකාවත මුල් කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
“නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු” යන සිරස්තලයෙන් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ හිටපු බුද්ධි ප්‍රධානියාට ද සාමාන්‍ය සැකකරුවෙකු සේ සලකා, නීතියේ සමානාත්මතාවය ඔහු වෙත ලබාදීම තහවුරු කරන ලෙසයි.
එමෙන්ම, වත්මන් පාලක පක්ෂයේ නිර්මාතෘවරයා වන රෝහණ විජේවීර මහතා එදා පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනය කර, ප්‍රාණය නිරුද්ධ වීමටත් ප්‍රථම ආදාහනාගාරයට යවා පුළුස්සා දැමූ මිලේච්ඡ යුගයේ බිහිසුණු පැල්ලම්, මෙම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය මත නැවත කිසිසේත්ම සටහන් නොවිය යුතු බව ද හිටපු මන්ත්‍රීවරුන් සිය ලිපියෙන් දැඩිව අවධාරණය කර ඇත.
මෙම ලිපිය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරුන් අත්සන් තබා තිබේ.
















