ශ්‍රී ලංකාවේ පිහිනුම් තටාක සැලකිය යුතු සංඛ්‍යාවක් දැනට පවතින්නේ අනාරක්ෂිත මට්ටමක බවත්, ඕනෑම පිහිනුම් තටාකයක ජීවිතාරක්ෂකයින් සිටීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
මේ අතර, දිවයින පුරා පිහිනුම් තටාක පහසුකම් පවතින පාසල් සංඛ්‍යාව පිළිබඳව ද සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රවල අවධානය යොමුවී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ පාසල් 10,467 ක් පිහිටා තිබුණ ද, පිහිනුම් තටාක පහසුකම් සහිතව පවතින්නේ පාසල් 66 ක පමණක් බවයි.
පාසල් පද්ධතිය තුළ පිහිනුම් තටාක පහසුකම් සීමිත මට්ටමක පැවතීම මෙන්ම දැනට පවතින මහජන සහ පෞද්ගලික පිහිනුම් තටාකවල නිසි ආරක්ෂිත ප්රමිතීන් සහ ජීවිතාරක්ෂක සේවාවන් නොමැති වීම ජලයේ ගිලීම් ඇතුළු අනතුරු ඉහළ යාමට සෘජුවම බලපාන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.














