මේ වන විට 5%ක මට්ටමේ පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරි වසර කිහිපය තුළ 7% – 8% දක්වා ඉහළ නැංවීමට රජය ඉලක්ක කර ඇති බවත්, එම ඉලක්කය සපුරා ගැනීමේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල දායකත්වය ඉතා තීරණාත්මක බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම තුළින් රටේ අනාගතය සුරක්ෂිත කළ හැකි බවත්, රජය සමඟ අත්වැල් බැඳගෙන රටේ සැබෑ ආර්ථික විභවතාව ජය ගැනීමට එක්වන ලෙසත් ජනාධිපතිවරයා ව්‍යවසායකයන්ට ආරාධනා කළේය.
මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ පරිදි, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා වාර්ෂිකව ඩොලර් බිලියන 05ක අපනයන ආදායමක් උපයා ගැනීමේ විභවතාව පවතින අතර, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ දැනට පවතින ඩොලර් මිලියන 500ක අපනයන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවිය හැකි බව හඳුනාගෙන ඇත. ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 02ක මුදලක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කිරීමට රජය අපේක්ෂා කරයි.
ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික කොටස් ආනයනය කිරීමේදී පවතින රේගු බාධා ඉවත් කිරීමට “Green Channel” ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, දත්ත මධ්‍යස්ථාන සහ Virtual Special Economic Zones ස්ථාපිත කිරීමටත් රජය සැලසුම් කර ඇත. කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා අදාළ පාර්ශ්ව නියෝජනය කරන විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට සාකච්ඡා කෙරුණු අතර, වරාය නගරය ආශ්‍රිත ආයෝජනවලදී බැංකු පද්ධතියේ පවතින බාධා, මෘදුකාංග සේවා සඳහා විදේශීය ගෙවීම් කිරීමේදී පවතින සීමාවන් සහ නීති අණපනත්වල සිදු විය යුතු සංශෝධන පිළිබඳව ව්‍යවසායකයෝ ජනාධිපතිවරයා දැනුවත් කළහ. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විදේශගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය විකල්ප සහන ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි. මෙම අවස්ථාවට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, SLASSCOM, SLEMEA ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරන ආයතන ප්‍රධානීන් සහ ව්‍යවසායකයන් පිරිසක් සහභාගී වූහ.














