රට තුළ සිදුවන සංවිධානාත්මක බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී මූල්ය ක්රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගල මහතාගේ ප්රධානත්වයෙන් මුදල් අමාත්යාංශයේදී ඊයේ (21) අත්සන් තබන ලද මෙම ගිවිසුම මගින්, රාජ්ය ආදායම් උපයන ප්රධාන ආයතන ද්විත්වය අතර ඒකාබද්ධ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ සමාන්තර විමර්ශන සිදු කිරීමේ නව යාන්ත්රණයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත.
මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මූල්යකරණය සහ විනාශකාරී ආයුධ ව්යාප්තියට මූල්යකරණය කිරීමට එරෙහිව ශ්රී ලංකාව තුළ සිදු කෙරෙන තුන්වන අන්යෝන්ය ඇගයීමට සමගාමීවය. 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත යටතේ දේශීය ආදායම් පනතේ සහ සුරාබදු ආඥා පනතේ සඳහන් වැරදි මුදල් විශුද්ධිකරණයට අදාළ නීති විරෝධී ක්රියාකාරකම් ලෙස නව නීතිමය ප්රවේශයකින් වර්ගීකරණය කර ඇති අතර, එමගින් අදාළ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රජයේ සම්පත් උපරිම ලෙස යොදාගැනීමට අවස්ථාව සැලසේ.
මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල මගින් බදු පැහැර හැරීම් පිළිබඳ විගණන කටයුතු පුළුල් කිරීම, අනීතික මූල්ය ප්රවාහයන් පාලනය කිරීම සහ රාජ්ය ආදායම් එකතු කිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී රාජ්ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමටත්, නීති විරෝධී ලෙස උපයන මුදල් විධිමත් මූල්ය පද්ධතියට ඇතුළු වීම වැළැක්වීමටත් මෙම ආයතනික සහයෝගීතාව සුවිශේෂී පිටිවහලක් වනු ඇතැයි මූල්ය ක්ෂේත්රයේ ප්රඥාවන්තයෝ පෙන්වා දෙති.














