රුපියල් මිලියන 196.6 ක ප්‍රතිපාදන මත යාපනය තෙල්ලිප්පෙයි මූලික රෝහලේ ඉදිකරන ලද නවීන පහසුකම් සහිත සිව්මහල් වෛද්‍ය නිලධාරී නිවාස සංකීර්ණය අද (18) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත භාරදීමට නියමිතව තිබේ. වෛද්‍ය නිලධාරීන් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැති වීම හේතුවෙන් දීර්ඝ කාලයක සිට එම රෝහල් කාර්ය මණ්ඩලය මුහුණපා සිටි දැඩි අපහසුතාවන්ට මේ හරහා ස්ථිරසාර විසඳුමක් ලැබී ඇත.
උතුරු පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ වෛද්‍යවරුන් විස්සකට ආසන්න සංඛ්‍යාවකට එකවර නේවාසික පහසුකම් ලබාගත හැකි වන පරිදි මෙම නිවාස සංකීර්ණය සමන්විත කර තිබීම විශේෂිතය. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන් විධිමත් කිරීමේ රජයේ ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මඟින් උතුරු පළාතේ වෛද්‍යවරුන්ගේ සේවා ගැටලු රැසකට සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්වීමට නියමිතව ඇත. මෙම භෞතික සම්පත් සංවර්ධනයත් සමඟ තෙල්ලිප්පෙයි මූලික රෝහලේ සේවා කාර්යක්ෂමතාව ඉහළ ගොස්, ප්‍රදේශයේ ජනතාවට වඩාත් ගුණාත්මක සහ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.














