ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව වඩාත් නවීන හා කාර්යක්ෂම කිරීමේ ජාතික සැලසුම යටතේ, තවත් අතිනූතන මෙට්‍රෝ බස් රථ (Metro Buses) 104ක් එළඹෙන අගෝස්තු මාසය තුළදී මෙරටට ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම දැවැන්ත බස් රථ ආනයන ව්‍යාපෘතියට අදාළ නිල ද්විපාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඉතා සාර්ථකව සිදු කෙරුණා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ සෘජු මෙහෙයවීම යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අනුබද්ධිතව ක්‍රියාත්මක වන “මෙට්‍රෝ ට්‍රාන්සිට්” (Metro Transit) පොදු ප්‍රවාහන සමාගම වෙනුවෙන් මෙම නව බස් රථ 104 ආනයනය කිරීමට නියමිතය. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සහ මෙරට ප්‍රමුඛ පෙළේ වාහන ආනයන ආයතනයක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම (Indra Traders) වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් මෙම ඓතිහාසික ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබන ලදී.
නාගරික මගී ප්‍රවාහන තදබදයට තිරසාර විසඳුමක් ලෙස හඳුන්වා දුන් මෙට්‍රෝ බස් සේවාව, ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ ප්‍රධාන නගර රැසක් ආවරණය වන පරිදි තවදුරටත් පුළුල් කිරීමට මෙමඟින් මඟ පෑදෙනු ඇත. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී. එම්. පියතිලක මහතා ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ලංගම උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.














