රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ, ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) එළඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය. කොළඹ SEMA ගොඩනැගිල්ලේ ශ්‍රවනාගාරයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සමගාමීව කටයුතු කිරීම සඳහා මෙවැනි ඩිජිටල් පරිවර්තනයන් අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීම හරහා රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ වේගවත් වන අතර, ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදුවන වෙනස්කම් පද්ධතිය මඟින් හඳුනාගැනීම නිසා වංචා දූෂණවලට අවස්ථාව නොලැබේ. LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් නීත්‍යානුකූල හා ආරක්ෂිතව මර්ගගතව ලේඛන ඉදිරිපත් කළ හැකි අතර, වෙළෙඳ පරිමාව වර්ධනය වන පසුබිමක මෙම ක්‍රියාවලිය නිසා රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා වන බව ද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
මෙම වැඩසටහනට රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි සහ LankaSign ජ්‍යෙෂ්ඨ කළමනාකරු නාලක විජේනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් සහ ආනයන අපනයන සමාගම් නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.














